“කලාව පිටුපස තියෙනවා සංවේදී ගතියක්. ඒ සංවේදීකම කෘත්‍රිම දෙයක් නෙමෙයි. ඒ නිසාම කලාව මිනිසාට අත්‍යාවශ්‍ය දෙයක්. මොකද කලාවෙන් ඈත් වෙන කෙනා මනුෂ්‍යත්වයෙනුත් ඈත් වෙනවා කියලා මම හිතනවා” ඒ කලාව පිළිබඳ ඔහුගේ සිතිවිලිය. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකි. සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකි. කැබිනට් මණ්ඩල කීපයක් නියෝජනය කළ අමාත්‍යවරයෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. හෙතෙම කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල හෙවත් කෙහෙළිය රඹුක්වැල්ල නම් වේ. වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වන ඔහුගෙන් දේශපාලනය පසෙකට ලා අප විමසුවේ කලාව ගැනය. කලාවට ඔහුට ඇති ඇබ්බැහිය ගැනය. ඒ ඇති සබැඳීයාව පිළිබඳ ඔහු අපට පැවසුවේ මෙසේය. 

කලාවට ඔබේ පවුලෙන් තිබුණු නැඹුරුව මේ කතාවට හොඳ ආරම්භයක් වේවි. 

මගේ අම්මායි අප්පච්චියි දෙන්නා කලාකාමී මිනිස්සු. අප්පච්චි ටිකිරි බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල. අම්මා රත්නා දිසානායක. ඇයට හොඳට සින්දු කියන්න පුළුවන්. මගේ මවුපියන්ට කලාකරුවන් එක්ක සබඳතා තිබුණා. අපේ ගෙදර ඉඳලා හිටලා සංගීත සාජ්ජ එහෙම තියෙනවා. ලතා වල්පොල මහත්මිය ඒවාට සහභාගි වුණා කියලා මට මතකයි. මගේ අප්පච්චි ව්‍යාපාර ලෝකයේ හිටපු කෙනෙක්. ඒ හරහා ඇති වුණු හිතවත්කම් හේතුවෙන් කලාකරුවන් ඇසුරු කළා. බන්දු සමරසිංහ ඒ කාලේ අපේ ගෙදර නිතරම ආවා ගියා මතකයි. ඔහු අපේ ගමේ කෙනෙක්. (කෑගල්ල) එඩ්වඩ් ජයකොඩිත් කෑගල්ලේ. ඔහුත් එක්කත් හිතවත්කමක් තිබුණා. 

පාසලේදී සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

මම පාසල් තුනකින් ඉගෙනගෙන තියෙනවා. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය, ගුරුතලාව මධ්‍ය මහා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල්වල අධ්‍යාපන හැදෑරුවේ. මගේ පාසල් වඩා කතෝලික මිෂනාරි පාසල් නිසා සෞන්දර්ය සහ කලාව සම්බන්ධයෙන් ඒ තරම් පෙලඹීම් තිබුණේ නැහැ. මම ගොඩක් නැඹුරු වුණේ කලාවට වඩා ක්‍රීඩාවට. 

මුලින්ම හෝල් එකක චිත්‍රපටයක් බලපු දවස මතකද?

ගුරුතලාව සහ බණ්ඩාරවෙල ඉද්දි නම් එහෙම සිනමාශාලා ඒ තරම් තිබුණේ නැති නිසා චිත්‍රපටි බැලුවේ නැහැ. නමුත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආවාට පසුව දිනපතා චිත්‍රපටි බලපු කාලයක් තිබුණා. 

ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහින් චිත්‍රපටි බලලා තියෙනවාද?

ඕනේ තරම් බලලා තියෙනවා. ඒ කාලේ තිබ්බා ඕඩියන් සිනමාශාලාව. ඒකේ දවස් දෙකෙන් දෙකට චිත්‍රපටි මාරු කරනවා. වැඩිපුර පෙන්නන්නේ පරණ බටහිර චිත්‍රපටි. තව සිනමාශාලාවක් තිබුණා පාමංකඩ ඊරෝස් කියලා. ඒකෙත් චිත්‍රපටි බලනවා. 10.30, 2.30 දර්ශන දෙකම අපි බලනවා. ඒ ලෙවල් කරන කාලේ ඉස්කෝලෙන් පැනලා 10.30 දර්ශනය බලන්න තමයි වැඩිපුරම යන්නේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී අරිසෙන් අහුබුදු සර් තමයි මට සිංහල සාහිත්‍යය ඉගැන්නුවේ. අපි අහුබුදු සර්ට “සර්, අපි පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්” කියලා චිත්‍රපටි බලන්න යනවා. සර් දන්නවා අපි යන්නේ චිත්‍රපටි බලන්න කියලා. ඒත් මුකුත් කියන්නේ නැහැ. ඉතින් අපි ගිහින් ඕඩියන් එක ඉස්සරහා තිබුණා චන්ද්‍රා බේක්හවුස් කියලා බේකරියක්. ඒකෙන් කෑම කාලා තමයි ෆිල්ම් බලන්න යන්නේ. 

අරිසෙන් අහුබුදු සූරීන්ගේ ඇසුර ගැනත් කතා කරමු?මම අහුබුදු සර්ට පෞද්ගලිකව හුඟක් ආදරේ කරනවා. බොහොම නිහතමානී සරලව ජීවත් වුණු මනුස්සයෙක්. මම උපාධිය ගත්ත වෙලාවෙත් ඔහු මාව බලන්න ආවා. මම ආචාර්ය පදවිය ගන්නකොටත් පෝළිමේ ඇවිත් බලන් ඉන්නවා කෙනෙක්. මට හොඳට හුරු පුරුදු මූණක්. ඒ අරිසෙන් අහුබුදු සර්. මම ඉක්මනට ගිහින් කතා කළාම “ඔබතුමාට ලොකු තනතුරක් අධ්‍යාපනයෙන් ලැබෙනකොට මට ඒක බලන්න හිතුණා” කියලා කිව්වා. ඔහු මගේ ජීවිතයට සමීපතම ගුරුවරයෙක්. 

ඉස්කෝලෙන් පැනලා ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

අපි හුඟක් බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපටි. ඕඩියන් එකේ දවස් දෙකෙන් දෙකට පරණ ඉංග්‍රීසි චිත්‍රපටි පෙන්නුවා. ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපටි තමයි වැඩියෙන් බැලුවේ. Coffin for a gunfighter, One silver dollar වගේ චිත්‍රපටි බැලුවා මතකයි. එතකොට second class ටිකට් එක රුපියලයි සත දහයයි. ගැලරියේ සත පනස් පහයි. ඒ කාලේ 10.30 දර්ශන වාරය බලන්න සෙනඟ ගොඩක් එන්නේ නැහැ. වැඩිපුරම එන්නේ පෙම්වතුන්. ඉතින් අපි ටිකක් වෙලා ගියාම එහා පැත්තේ හොඳ ආසනවලට පනිනවා. ඊරෝස් එකේ ගොඩක්ම පෙන්නුවේ හින්දි චිත්‍රපටි. 

ඒ කාලේ සිංහල චිත්‍රපටි බැලුවේ නැද්ද?

හුඟක් බලලා තියෙනවා. සිංහල චිත්‍රපටි බලන්න යන්නේ අපි හවසට. හතරදෙනාම සූරයෝ, තුෂාරා, දෙවියනේ ඔබ කොහෙද, බඹරු ඇවිත්, ගම්පෙරළිය වගේ චිත්‍රපටි බැලුවා මතකයි. 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

ඔව් ගොඩක් තියෙනවා. ‍රාජේෂ් කන්නාගේ “හාති මෙරේ සාති” හතර පස් පාරක් බැලුවා. අමිතාබ් භච්චන්ගේ “අභිමාන්” දෙතුන් වතාවක් බලලා තියෙනවා. සිංහල චිත්‍රපටවලින් “චණ්ඩි පුතා” දෙතුන් වතාවක් බැලුවා මතකයි. 

චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන සිදුවීම් තියෙනවාද?

හුඟාක් සිදුවීම් වෙලා තියෙනවා. ඒත් දැන් ඒවා මතක නැහැ. සැවෝයි එකේ අපි බලන්න ගියා බෲස් ලීගේ ”  Enter The Dragon”. අපි පෝළිමේ ටිකට් ගන්න ඉන්නකොට කට්ටියක් පෝළිම් පැන්නා. ඒ අපේ කොල්ලෝ කාලේනේ ඉතින්. පෝළිම් පැනපු නිසා අපි ඒ අය එක්ක ගහගත්තා. 

පෙම්වතියෝ එක්ක චිත්‍රපටි බලලා නැද්ද?

ඒවා ඉතින් රහසිගත කතන්දරනේ. (සිනාසෙමින්)

ඒ කාලේ ඔබ අනුකරණය කරපු චිත්‍රපටි නළුවා කවුද?

මම නළුවෝ අනුකරණය කරලා නැහැ. ඒත් මම අගය කරන නළුවෝ ඉන්නවා. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වගේ අය අපේ කාලේ හිටපු ඉහළම මට්ටමේ රංගධරයෝ. 

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

එහෙම නිළියෝ නම් මට හුඟදෙනෙක් ඉන්නැති ඒ කාලේ. එහෙම නම් වශයෙන් කියන්න මතක නැහැ. කැමතිම නිළිය කවුද කියලා ඇහුවොත් උත්තරේ ස්වර්ණා මල්ලවාරච්චියි, මාලනී ෆොන්සේකායි තමයි. 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

බන්දුල ගුණවර්ධන produce කරපු films ටික හොඳට තිබුණා. “සුද්දිලාගේ කතාව”, “සිරිමැදුර” වගේ චිත්‍රපටිවලට කැමතියි මම. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටිවලටත් කැමතියි. විශේෂයෙන් “නිධානය” චිත්‍රපටියටත් කැමතියි.  ඒ වගේම “වැලිකතර” චිත්‍රපටියට මම කැමතියි. ඒක බොහොම සංවාදශීලී චිත්‍රපටියක්. හැම මිනිත්තුවේම අලුත් දෙයක් ප්‍රේක්ෂකයාට ලැබෙන චිත්‍රපටියක්. 

චිත්‍රපට නිෂ්පාදනයට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ඒක ඇත්තටම අහම්බයක්. මම එතකොට ව්‍යාපාරිකයෙක්. අවුරුදු විස්සක් හෝ විසි එකක් විතර ඇති මට. 1977 අවුරුද්දේ විතර ඇති. දවසක් චැතම් පාරේ තිබුණු කාර්යාලයට මාව මුණගැහෙන්න කට්ටියක් ආවා. “තනි තරුව” කියලා චිත්‍රපටියක් හදලා සල්ලි නැතුව හිර වෙලා ඉතුරු ටික හදන්න නිෂ්පාදනයට මගෙන් සල්ලි ඉල්ලගන්න ආවා. මම හවුලේ ව්‍යාපාර කරන්න කැමති කෙනෙක් නොවන නිසා මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මම ඒ චිත්‍රපටිය සල්ලිවලට ගන්න ඇහුවා. සල්ලි දීලා අරගෙන ඉතුරු ටික කරන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒත් ඒ අය ඒකට කැමති වුණේ නැහැ. පසුව මට හිතුණා චිත්‍රපටියක් හදන්න. 

ඒ චිත්‍රපටිය “සක්විති සුවය”?

ඔව්. මගේ කාර්යාලයේ හිටපු සේවකයෙක් මට කිව්වා “සර් සිළුමිණේ හොඳ කතාවක් යනවා “සක්විති සුවය” කියලා. අපිත් ඒක බලනවා. ඒකෙන් ෆිල්ම් එකක් කළොත් හොඳයි” කියලා. මම ඒ වෙලාවෙම ෆෝන් එක අරගෙන ලේක්හවුස් එකට කතා කරලා දයා රාජපක්ෂගේ ලිපිනය හොයාගත්තා. එයා හිටියේ නොම්මර 07, කෙන්ට්වුඩ් පාර දෙමටගොඩ. මම ඒ ගෙදර හොයාගෙන ගියා. මම දයාගෙන් “සක්විති සුවය” ඉල්ලුවාම ඒ වෙනකොටත් ඒක වෙන කෙනෙක්ට දීලා චිත්‍රපටියක් හදන්න. මම රුපියක් විසිපන්දාහක් දීලා කතාව ගත්තා. ඒක ඒ කාලේ හැටියට ලොකු ගාණක්. 

ඊටපස්සේ මොකද කළේ?

ඒ වෙනකොටත් අරිසෙන් අහුබුදු සර් එක්ක පාසල් යන කාලේ තිබුණු හිතවත්කම එලෙසම තිබුණා. අහුබුදු සර්ට චිත්‍රපටියක් හදන්න යන කතාව කිව්වාම ඔහු කිව්වා “ගාමිණීටත් මම උගන්වලා තියෙනවානේ. මම ගාමිණීට කතා කරන්නම්” කියලා. අහුබුදු සර් හරහා තමයි සක්විති සුවයට ගාමිණී ෆොන්සේකාව සම්බන්ධ කරගත්තේ.  මම ආරාධනා කළා ගාමිණීට චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒ සම්බන්ධ සංවාද කීපයකින් පසුව ගාමිණී අධ්‍යක්ෂණය කරන්න කැමති වුණා. 

චිත්‍රපටියට නළු නිළියන් තෝරාගත්තේ කොහොමද?

මට මතකයි ගාමිණීගේ බිරිඳ තමයි සක්විති සුවයට “සබීතා පෙරේරා හොඳයි. එයා අලුත් නිළියක් කියලා” යෝජනා කළේ. ගාමිණී අධ්‍යක්ෂණය කරනවා වගේම ප්‍රධාන චරිතය රඟපාන්නත් කැමති වුණා.  තව කැපී පෙනෙන නළුවෙක්ගේ චරිතයක් තෝරද්දි ගැටලුවක් වුණා. මට ඒ චරිතෙට ඕනේ වුණේ රවීන්ද්‍ර රන්දෙණියව. ඒත් රවීන්ද්‍ර කලින් භාරගත්ත වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියේ. ඊට පස්සේ ඒ නළුවාට විජය කුමාරණතුංගගේ නම යෝජනා කළා. ඒත් එතනත් ආරවුලක් තිබුණා.

මොකක්ද ඒ ආරවුල?

ඒ වෙනකොට ගාමිණීයි විජයයි තරහා වෙලා හිටියේ. දෙන්නා අතර සීතල යුද්ධයක් තිබුණා. දෙන්නාට දෙන්නා කතා නොකර, මුණගැහෙන්නේ නැතුව හිටියේ. ඒ දෙන්නාව යාළු කළෙත් මම. 

ඒ කොහොමද?

චිත්‍රපටියේ නිෂ්පාදන කළමනාකරු විල්ෆ්‍රඩ් පෙරේරායි, සුනිල් ආරියරත්නයි, දයා රාජපක්ෂයි මමයි විජයව මුණ ගැහෙන්න ගියා. එතකොට අපි අතර මෙහෙම සංවාදයක් වුණා. 

විජය – අහ්.. මල්ලි කොහොමද?

මම –    හොඳයි අයියේ… මම ෆිල්ම් එකක් හදන්න යනවා. අයියාව ප්‍රධාන නළුවාට ගන්න ඉන්නේ.

විජය – ස්ක්‍රිප්ට් එක මොකක්ද?

මම – දයා සිළුමිණට ලියපු “සක්විති සුවය”. 

විජය – හොඳයි එහෙනම්. මම ස්ක්‍රිප්ට් එක බලලා කතා කරන්නම්. 

ඊට පස්සේ අපි ගියා ගාමිණී ෆොන්සේකාව මුණගැහෙන්න ගෙදරට. අනිත් හැමෝම බයයි ගාමිණීට. ගාමිණී ටිකක් සැර කෙනෙක්නේ. මම විල්ෆ්‍රඩ්ටයි සුනිල්ටයි දයාටයි කිව්වා “ඔයාලා සද්ද නැතුව ඉන්න. මම ගාමිණීට කතා කරන්නම්” කියලා. මම ගාමිණීට ගිහින් මෙහෙම කිව්වා. 

මම – මට විජයව මුණගැහුණානේ. 

ගාමිණී – මොකක්? (හදිස්සියේ හැරිලා බලමින්)

මම – විජය හරි දුක් වුණා. “එක එක්කෙනා කේළම් කියලා මාවයි ගාමිණී අයියාවයි තරහා කරලානේ. මගේ ජීවිතේ තියෙන ලොකුම ආසාව ගාමිණී අයියා direct කරන film එකක වැඩ කරන එක” කියලා මට කිව්වානේ. 

ගාමිණී – Did he say that?

මම – ඔව්. මේ අයගෙනුත් අහන්නකෝ මේ අයත් හිටියා ළඟ. (සුනිල්, දයා, විල්ෆ්‍රඩ් පෙන්වමින්)

ගාමිණී – අහ් එහෙනම් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. 

ඉන්පස්සේ දවසක අපි කට්ටිය ආයිමත් විජය කුමාරණතුංගව මුණගැහෙන්න ගියා. එතකොටත් එදා වගේම සංවාදයක් වුණා.

විජය – මම මේ ස්ක්‍රිප්ට් එක කියෙව්වා. මට මේකේ තියෙන්නේ බකට් හැරීගේ චරිතය නේද?

මම – නැහැ. ඒක රඟපාන්නේ ගාමිණීනේ. (කිසිවක් නොදන්නා සේ සැහැල්ලුවෙන්)

විජය – අහ්.. එයා මාත් එක්ක රඟපාන්නේ නැහැ. මම ඉන්න film  එකකටවත් එයා එන්නේ නැහැ. 

මම – මොන පිස්සුද? ගාමිණී අයියා කිව්වා “මේ චරිතයට හොඳම මනුස්සයා විජය. මේ එක එකා කේලම් කියලා අපිව තරහා කරලානේ” කියලා. 

විජය – ඇත්තටම එහෙම කිව්වාද මල්ලි?

මම – ඔව්. බොරු නම් මේ අයගෙන් අහන්නකෝ. (සුනිල්, දයා, විල්ෆ්‍රඩ් පෙන්වමින්) 

මම – ඔව්. බොරු නම් මේ අයගෙන් අහන්නකෝ. (සුනිල්, දයා, විල්ෆ්‍රඩ් පෙන්වමින්) 

ඊටපස්සේ ගාමිණියි විජයයි දෙන්නා අපේ කෑගල්ලේ ගෙදරදි තමයි මුලින්ම මුණගැහුණේ. එයාලා සැණකෙළිය චිත්‍රපටියෙන් පස්සේ අවුරුදු ගාණක් තරහා වෙලා එකට රඟපාන්නේ නැතුව හිටියා. ඒ අවුරුදු ගණනක විරසකය නැති කළේ මම. 

ඔබට රංගනයට ආරාධනා ඇවිත් තියෙනවාද?

ඒ කාලේ ආරාධනා ආවා. ගාමිණී ෆොන්සේකාම මට දෙතුන් වතාවක්ම කතා කළා රඟපාන්න එන්න කියලා. “ගාමිණී කිව්වා ඔයාට හොඳ  role එකක් කරන්න පුළුවන්. රඟපාන්න එන්න” කියලා. ඒත් මට ඒ ගැන ඒ තරම් උනන්දුවක් සහ කැමැත්තක් තිබුණේ නැහැ. 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

හෝල් එකක අන්තිමටම බලපු චිත්‍රපටිය නම් මතක නැහැ. ලිබර්ටි එකේ අන්තිමටම චිත්‍රපටියක් බැලුවා මතකයි. ඒක ඉංග්‍රීසි චිත්‍රපටියක්.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

එක්කෙනෙක් නෙමෙයි කීපදෙනෙක් ඉන්නවා. ඉහළින්ම ඉන්නේ ඩබ්ලිව්. ඩී අමරදේව. ඒ කටහඬට අදටත් replacement නැහැ. ඊට අමතරව අමරසිරි පීරිස්, ගුණදාස කපුගේ, මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපාල. මේ හැමෝගෙම කටහඬට මම  කැමතියි. 

කෙහෙළිය රඹුක්වැල්ල කලාව කියන දේ කොහොමද දකින්නේ?

කලාව කියන්නේ බොහොම සංවේදීයි දෙයක්. කලාකරුවෝ බොහොම සංවේදීයි මිනිස්සු. මමත් දේශපාලකයෙක් වගේම කලාකාරයෙක්. කලාව පිටුපස තියෙනවා සංවේදී ගතියක්. ඒ සංවේදීකම කෘත්‍රිම දෙයක් නෙමෙයි. ඒ නිසාම කලාව මිනිසාට අත්‍යාවශ්‍ය දෙයක්. මොකද කලාවෙන් ඈත් වෙන කෙනා මනුෂ්‍යත්වයෙනුත් ඈත් වෙනවා කියලා මම හිතනවා. කලාව කියන දේ කුමන මට්ටමක කුමන තරාතිරමක හිටියත් මනුෂ්‍යයාට අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. 

අද ලංකාවේ කලාව තියෙන තැන ගැන මොකද හිතන්නේ?

හරිම කනගාටුයි. ඒත් සංගීත කලාව නම් හොඳ මට්ටමක තියෙනවා. අපේ සංගීත ශිල්පීන් මේ වෙද්දි අන්තර්ජාතික ලෝකය ජයගනිමින් ඉන්නවා. චිත්‍රපටි කර්මාන්තය බිංදුවටම වැටිලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ කොහෙන්ද පටන්ගන්න ඕනේ කියලා. එහෙම වාතාවරණයක හරි චිත්‍රපටි හැදුණු එක මට සතුටක්. සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී  වගේ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටි කාලයක් පැවතුණා. වාණිජමය වටිනාකමක් එක්ක කලාකෘතියක් හදන්න බැහැ කියන එක බොරු කතාවක්. වාණිජමය වටිනාකමක් එක්ක හැදුණු හොඳ නිර්මාණ පසුගිය කාලේ තිබුණා. ඒක හොඳ ප්‍රවණතාවක් හැටියට මම දකිනවා. චිත්‍රපටි කලාව නඟා සිටුවන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි දැන්. 

සිනමා කර්මාන්තය නඟා සිටුවන්න රාජ්‍ය මට්ටමෙන් වැඩපිළිවෙලක් සඳහා යෝජනා ඔබ සතුව තියෙනවාද 

එහෙම වැඩපිළිවෙළක් හදන්න ඕනේ. කොහොමහරි වැඩපිළිවෙලළක් හදලා මේක නැවත තිබුණු තත්ත්වයට ගෙන එන්න ඕනේ. ලංකාවේ සමහර චිත්‍රපටිවලට වියදම් කරන මුදල් දැක්කාම හරි පුදුම හිතෙනවා. ඒත් මේවා බලන්න මිනිස්සු එන්නේ නැහැ. අපි අපේ තරුණ කාලේ ඇති තරම් චිත්‍රපටි බැලුවා. ඒත් දැන් තරුණයන් අතර එහෙම සංස්කෘතියක් බිහි වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව කාලය. දැන් මිනිස්සු කාලයත් එක්ක ලොකු සටනක් කරනවා. ඒ වගේම සිනමශාලාවලත් ගැටලු තියෙනවා. සිනමාශාලා නවීකරණය නොවීමත් මේකට හේතුවක්. 

දේශපාලනයෙන් විශ්‍රාම ගිය කාලයක චිත්‍රපටියක් අධ්‍යක්ෂණයට ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

මට එහෙම ආරාධනා කීපයක්ම ඇවිත් තියෙනවා. චිත්‍රපටි කරන කාලේදී කැමරාව පිටුපස මම හුඟ කාලයක් ඉඳලා තියෙනවා. මගේ චිත්‍රපටියට අමතරව “කොටි වලිගය” වගේ චිත්‍රපටි කීපයක මම ගාමිණී ෆොන්සේකා එක්ක කැමරාව පිටිපස්සේ ඉඳලා තියෙනවා. ඒ ගැන යම් දැනුමක් තියෙනවා. මට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න වුවමනාවකුත් තිබුණා. බලමුකෝ ඉදිරියේදී. 

(නිර්මාණි බණ්ඩාරනායක)

සරසවිය පුවත්පතෙන් උපුටාගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here