විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේදීත් මැතිවරණයේ ස්තූති රැස්වීම්වලට සහභාගී වුණේය. පාර්ලිමේන්තුව පැවති දිනවල පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළ ඔහු දිගින් දිගටම ස්තූති රැස්වීම්වලට සහභාගී වී තිබුණේ පාක්ෂිකයින් අත නොහැර ආරක්ෂා කරගන්නා බවට වන විශ්වාසය පාක්ෂිකයින් තුළ ඇති කරමිනි.

“ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු මල්ලක් දීලානේ. මේ පොරොන්දු ඉටු කරන්න අපි ආණ්ඩුවට කල් දෙනවා. ඒ වගේම දෙන පොරොන්දු ඉටු කරනවාද කියලා අපි හොඳට බලාගෙන ඉන්නවා.”  යැයි සජිත් ප්‍රේමදාස මහතා ස්තූති රැස්වීම්වලට ගොස් ජනතාව අමතමින් කීවේය.

සජිත් කොලොන්නාවේ පැවති ස්තූති රැස්වීමකට සහභාගී වූයේ මරික්කාර් මන්ත්‍රීවරයා සමගය.

“මේ ආණ්ඩුව නම් කියපු දේවල් නම් කරන පාටක් නෑ” මරික්කාර් සජිත්ට කිවේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන අදහස් දක්වමින්ය.

“ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙනවා කියලා පොරොන්දු වුනානේ. ඒවා දෙන්න අපි බලපෑම් කරනවා. දැන් එම්.සී.සී. ගිවිසුම අහෝසි කරනවා කියලා පොරොන්දු වුනා. ඒවා අහෝසි කළාද?” සජිත් මරික්කාර්ට කීවේ මේ ගැන සමාජ කතිකාවක් ඇති කළ යුතු බව කියමිනි.

විපක්ෂ නායක කාර්යාලයේ බණ

සජිත් විපක්ෂ නායකත්වයට පත් වූ දිනයේ සිට සෑම පුන් පොහෝ දිනකම  විපක්ෂ නායක කාර්යාලයේ ධර්මදේශනාවක් පැවැත්වෙයි. මේ සෑම ධර්මදේශනාවකටම සජිත් සහභාගී වන්නේ දැඩි උනන්දුවකින් යුතුවය. මෙවර පෝදා ධර්මදේශනාව පැවැත්වීමට වැඩම කළේ අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේය.

“වැඩ කල් දැමීම, අතපසු කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් කරගෙන. සජිත් ප්‍රේමදාස මහතාට ධෛර්යසම්පන්න මිනිසුන් එක්ක වෙනම ගමනක් යන්න වුනේ ඒකයි. සජිත් ප්‍රේමදාස මහතාට බාධාකරපු, කකුලෙන් ඇදපු සියලු දෙනාම ජනතාව ගෙදර තිබ්බා” සිරිසුමන හිමියන් කීවේ දේශපාලනයට බුදු දහමින් ගත හැකි ආදර්ශ ගැනත් සිහිපත් කරමින්ය.

ධර්මදේශනාව අවසන්වීමෙන් පසුව සජිත් විපක්ෂ නායක කාර්යාලයේ ටික වේලාවක් රැඳී සිටියේ පැමිණ සිටි මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහක යෙදෙමිනි. රටේ දේශපාලන තත්වය ගැන මෙන්ම පක්ෂයේ දේශපාලන කටයුතු ගැනත් ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේය.

“ඔබතුමා බදාදා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාරගන්නවා කියලා පත්තරයක ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. ඒක ඇත්තද?” අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා විමසුවේය.

“මොන බොරුවක්ද ඔය. මම අදත් මේ විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් ඉන්නේ. පාර්ලිමේන්තුව රැස්වුන දවසේ ඉදලා මම වැඩ. අලුතින් වැඩ භාරගන්න දෙයක් නෑනේ අශෝක”සජිත් ප්‍රවෘත්තිය ගැන පැහැදිළි කළේය.

“හැමතැනම පරිසරය විනාශ කරනවා. එක පැත්තකින් සිංහරාජය කපනවා. අනික් පැත්තෙන් වගුරු බිම් ගොඩ කරනවා”ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කතාව වෙනතකට යොමු කළේය.

“රටක් සංවර්ධනය කරන්න ඔ්න පරිසරය ආරක්ෂා කරන ගමන්. එහෙම නැතිව පරිසරය විනාශ කරලා රටක් සංවර්ධනය කරන්න බෑ”සජිත් කීවේ පරිසරය හා සංවර්ධනය ගැන තමන්ගේ ඇති දැක්ම ගැන දීර්ඝ පැහැදිළිකිරීමක් ද කරමිනි.

“මේ ආණ්ඩුවට නම් පරිසරය ගැන කිසිම තැකීමක් නෑ වගේ තමයි. ඉස්සෝ වගාවට ආනවිලුන්දාව තෙත් බිම ගොඩ කරනවා. ඒක සාධාරණීකරණය කරන්න ඇමැතිවරුත් එළියට බැහැලා ඉන්නවා‌නේ”හේෂා විතානගේ මන්ත්‍රිවරයා කීවේය.

“අනිත්මේදී මේක ඩෝසර් කරපු ඩෝසරේ ඩ්‍රයිවර් තමයි වැරදිකාරයා වෙලා තියෙන්නේ”අශෝක අබේසිංහ කීවේ සිනහවක් මුවට නංවාගනිමිනි.

මාධ්‍ය දඩයමට එරෙහිව

වෙබ් මාධ්‍යවේදී චතුරංග ඩෙස්මන් අල්විස් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට රහස් පොලිස් කණ්ඩායමක් ගොස් ඇති බවට තොරතුරු ලැබුණ විගස සජිත්, නීතීඥ ශිරාල් ලක්තිලකට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ ගැන මැදිහත්වන ලෙස දැනුම් දුන් ඔහු චතුරංගගේ බිරිදට දෙවරක්ම  දුරකතන ඇමතුමක් ලබාදුන්නේය.

“අපි චතුරංග වෙනුවෙන් පෙනී සිටිනවා. මම නීතීඥයින්ට කතා කරලා චතුරංග වෙනුවෙන් පෙනී ඉන්න කියල දැනුම් දෙනවා” සජිත් කීවේය.

මේ අතර රාත්‍රියේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය අවස්ථාවේදී ශිරාල් ලක්තිලක, රජිත් කීර්ති තෙන්නකෝන් හා අසාද් සාලි එම ස්ථානයට ගොස් සිටියහ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් විටින් විට ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇතිවෙමින් තිබෙන තත්වය ගැන විමසා සිටියේය.

“මේ ආකාරයට මාධ්‍යවේදීන් අත්අංඩගුවට ගැනීම හොද ප්‍රවණතාවක් නෙමෙයි” රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ මහ ලේකම්වරයා සජිත් සමග මේ ගැන කතා කළේය.

“කුමන තත්වයකදී වුවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට අරගෙන බිය ගැන්වීම් කිරීමට අපි විරුද්ධ වෙනවා. පක්ෂයක් විදියට අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අතරම ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දෙයක් කිරීමට කටයුතු කරනවා.නමුත් විශේෂයෙන්ම කිසිම වෙලාවක අධිකරණයට ඇගිලි ගහන්න  හෝ බලපෑම් කරන්න බැහැ”
සජිත් සහතිකයක් දුන්නේය.

මේ අතර චතුරංග අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් ඉදිරිපත් කලේය. පෙර දින රාත්‍රියේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට වී සිටි ශිරාල් ද පසුදා උදෑසනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ චතුරංග වෙනුවෙන් පෙනී සිටියේය.

සජිත් ද දිගින් දිගටම කතා කරමින් ඔහු ගැන තොරතුරු සොයා බැලීමට ද අමතක කර තිබුණේ නැත.
“නීතියට හෝ අධිකරණයට කිසිම විදිහක බලපෑමක්  නොකර සාධාරණත්වය වෙනුවෙන් වැඩ කරන්න” සජිත් කීවේය. 

හරීන්ට ලොකු වැඩක්

පසුගිය සතියේදී, සජිත් සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැදවා තිබුණේය. ඒ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන ඔහු සමග සාකච්ඡා කිරීමටය. ඒ අතරම හරින්ට පක්ෂයේ වගකීම් කොටසක්ද සජිත් භාරදුන්නේය.

“දැන් ඉතිං ගමට බහින්න වෙලාව හරි. රට වටේම ඇවිදලා ප්‍රාදේශීය මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණය සකස් කරන්න පටන් ගන්න”සජිත් හරින්ට කීවේය.

“මම ඒක භාරගන්නම්. බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම ගැන අදහසක් මට තිබෙනවා”හරින් කීවේ තමන්ගේ හිතේ තිබුණ සැලසුම ගැනය.

“මට අවශ්‍ය දේ ප්‍රායෝගිකව ඉදිරිපත් කළා. මේක ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න”සජිත්, හරින්ට උපදෙස් දුන්නේය.

Gossip

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here